.

.
Cause Of Lament Due To The Unpreparedness

Currency Rate

Tuesday, January 8, 2013

Climate Change

දේශගුණ  කාලගුණ  විමසුම
මහ විපතකි සිදු වුණේ

ගෙවුණු වසර නිම වූයේ අප රටේ ලක්‍ෂ හතරකට වැඩි පිරිසක්‌ විපතේ හෙළමිනි. දිවයිනේ දිස්‌ත්‍රික්‌ක 21 කට බලපෑ ධාරානිපාත වර්ෂාවෙන් එම දිස්‌ත්‍රික්‌කවල නිවාස, මහාමාර්ග, වගා බිම්, විදුලිය හා දුරකථන පද්ධති, දේපළ බොහෝමයක්‌ විනාශ විය. පසුගිය 17 වැනිදා උදෑසන වනවිට රට පුරා ආපදා තත්ත්වයක්‌ වර්ධනය වූ අතර එතැන් පටන් පුරා සති දෙකක්‌ නොකඩවා ඇදහැලුණු වර්ෂාව ජන ජීවිතය අඩාල කරන්නට හේතු විය.

ජීවිත හානි

ජලයේ ගසාගෙන යැමෙන්, නිවාසවල බිත්ති කඩා වැටීමෙන්, පස්‌කඳුවලට යටවීමෙන් ගස්‌ කඩා වැටීමෙන් මියගිය සංඛ්‍යාව 43 කි. තවත් පුද්ගලයන් 7 දෙනකු පිළිබඳ තවමත් කිසිදු තොරතුරක්‌ ලැබී නැත. එක්‌කෝ ඒ අය පස්‌ යට සැඟවෙන්නට ඇත. එසේ නැත්නම් දියේ ගිලෙන්නට ඇත.

වැඩිම පිරිසක්‌ මිය ගියේ මාතලේ දිස්‌ත්‍රික්‌කයේය. එම සංඛ්‍යාව 9 කි. මාතලේ රත්තොට නිකළොය කන්ද නාය යැමෙන් පුද්ගලයන් 6 දෙනකු මිය ගිය අතර තවත් 6 දෙනකු අතුරුදන් විය. එයින් තුවාල ලැබූ සංඛ්‍යාව 9 කි.

මාතලේ අඹගඟ කෝරළයේ නාය යැමකින් තවත් පුද්ගලයන් 3 දෙනකු මිය ගිය අතර, 4 දෙනකු තුවාල ලැබීය.

මහනුවර දිස්‌ත්‍රික්‌කයේ ද පුද්ගලයන් 4 දෙනකු ජීවිතක්‍ෂයට පත් විය. මැද දුම්බර එක්‌ අයෙක්‌ද පාතදුම්බර එක්‌ අයෙක්‌ද උඩදුම්බර පුද්ගලයන් 2 ක්‌ද සිදුවූ විපතින්ම සදහටම දෑස්‌ පියා ගති.

පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ දිඹුලාගල පුද්ගලයන් දෙදෙනකු හා ලංකාපුර එක්‌ අයෙකු මිය ගියේ ජලගැල්මට හසු වීමෙනි. අනුරාධපුරයේ කටහගස්‌දිගිලිය ප්‍රදේශයේ පදිංචිකරුවකු සහ ගලෙන්බිඳුණුවැව පුද්ගලයන් දෙදෙනකු ද ජල ගැල්මෙන් ජීවිතක්‍ෂයට පත් විය.

බදුල්ල, පස්‌සර නාය යැමෙන් තිදෙනකු මියගිය අතර මොණරාගල, සියඹලාණ්‌ඩුව ප්‍රදේශයේ අයෙකු මිය ගියේ ජල පහරට හසු වීමෙනි.

මඩකලපුව දිස්‌ත්‍රික්‌කයේ ද ජල ගැලීම් හා දැඩි සුළඟින් නිවාස කඩා වැටීම ආදිය නිසා විපත් බොහෝමයක්‌ සිදුවිය. කෝරළෙයිපත්තු ප්‍රදේශයේ 3 ක්‌ ද එරාවුර්පත්තු ප්‍රදේශයේ 2 ක්‌ ද මන්මුනෙයි බටහිර එක්‌ පුද්ගලයෙක්‌ සහ මන්මුනෙයිපත්තු ප්‍රදේශයේ 2 ක්‌ ජීවිතක්‍ෂයට පත් වූහ.

අම්පාරේ තිරුක්‌කෝවිල්හි පදිංචිව සිටි අයෙක්‌ ද ජල ගැල්මට හසුව මිය ගිය අතර ත්‍රිකුණාමලයේ කින්නියා ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක්‌ ද ජීවිතයෙන් සමුගත්තේ ජල ගැල්ම හේතුවෙනි.

කුරුණෑගල පඬුවස්‌නුවර බටහිර පදිංචිව සිටි අයෙක්‌ හා බිංගිරියේ පදිංචිව සිටි 2 ක්‌ ද ජල ගැල්ම හේතුවෙන් මිය ගියහ.

පුත්තලම දිස්‌ත්‍රික්‌කයේ හලාවත, නවගත්තේගම, මහවැව හා ආරච්චිකට්‌ටුව යන ප්‍රදේශවල එක්‌ අයෙකු බැගින් මියගොස්‌ තිබිණි.

මුලතිව්හි මාරිටිනේපත්තු ප්‍රදේශයේ අයෙක්‌ ද මියගිය අතර වව්නියාව උතුර පදිංචිකරුවෙක්‌ද ජලගැල්මෙන් විපතට පත් වූහ.

කිලිනොච්චියේ කරච්චිහි පදිංචිකරුවෙක්‌ ද ජල ගැල්මට හසුව ජීවිතක්‍ෂයට පත් විය.

පොළොන්නරුව, මුලතිව්, වව්නියාව, මාතලේ දිස්‌ත්‍රික්‌කවල මියගිය අයගේ මළසිරුරු ඥතීන් වෙත භාර දීමේදී මෙන්ම එම මළ සිරුරු සොයා ගැනීමේදී ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය, පොලිසිය, නාවික හමුදාව, ප්‍රදේශවාසීන් මහත් සේ වෙහෙසට පත් විය. මාතලේ පස්‌ කඳුවලට යට වූ මළසිරුරු ගොඩගැනීම අති දුෂ්කර කාර්යයක්‌ බවට ද පත් විය.

නාය යැම්

මාතලේ, රත්තොට නිකළොයකන්ද දරුණු ලෙස නායයැමකට ගොදුරු විය. එසේම මාතලේ අඹගඟකෝරළයේ ද නාය යැමක්‌ සිදු විය. මාතලේ විල්ෂෙයාර් කන්ද මුදුන ද පිපිරීමකට ලක්‌ව තිබිණි.

ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ නාය යැම් අංශය මගින් සිදු කළ පරීක්‍ෂණවලට අනුව මාතලේ දිස්‌ත්‍රික්‌කයේ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස එකොළහෙන් දහයක්‌ම මේ වනවිට නාය යැමේ අවදානම සහිත ප්‍රදේශ වේ. එම ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසවල විශේෂ පරීක්‍ෂාවට ලක්‌ කළ ස්‌ථාන අතරින් මාතලේ, උකුවෙල, රත්තොට හා නාඋල ප්‍රදේශවල ස්‌ථාන 130 ක්‌ නාය යැමේ දැඩි අවදානම් ස්‌ථාන ලෙස හඳුනාගෙන තිබේ. එම ස්‌ථානවල පදිංචිව සිටි පවුල් 143 ක්‌ වහාම ඉවත් කර ඇත.

එසේම අවතැන් වූ පවුල් 272 කට අයත් පුද්ගලයන් 888 දෙනකු සහන කඳවුරු 28 ක තාවකාලිකව නවාතැන් ගෙන සිටි අතර තවදුරටත් සහන කඳවුරු පවත්වාගෙන යැම හේතුවෙන් පාසල් 6 ක්‌ මෙම මස 10 වැනිදා දක්‌වා ආරම්භ නොකිරීමට ද අධ්‍යාපන අමාත්‍යාංශයට සිදුවී ඇත.

නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයේ ද හඟුරන්කෙත, අඹගමුව, නුවරඑළිය හා වලපනේ යන ප්‍රදේශවල පස්‌ හා කණ්‌ඩි කඩා වැටීම් සිදු වීමෙන් නිවාස මෙන්ම මාර්ග කිහිපයකට ද බරපතළ හානි සිදු විය.

බදුල්ල දිස්‌ත්‍රික්‌කයේ හාලිඇළ සහ පස්‌සර ප්‍රදේශවල නාය යැම් සිදු වූ අතර එයින් පුද්ගල ජීවිත, දේපළ හානි රැසක්‌ සිදු විය.

මේ වන විට දිස්‌ත්‍රික්‌ක 4 ක නාය යැමේ අධි අවදානම් ස්‌ථාන 183 ක්‌ ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය මගින් හඳුනාගෙන තිබේ. එසේම මධ්‍ය අවදානම් ස්‌ථාන 95 ක්‌ ද නම් කර ඇත. ඒ අනුව මහනුවර, නුවරඑළිය, කුරුණෑගල, මාතලේ යන දිස්‌ත්‍රික්‌කවල මෙසේ අවදානම් ස්‌ථාන නම් කර ඇත.

මාතලේ දිස්‌ත්‍රික්‌කයේ පාසල් 11 ක්‌ ද අවදානම් සහිත ස්‌ථානවල පිහිටා ඇති බව හඳුනාගෙන තිබේ. මේ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය, ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය හා අධ්‍යාපන අමාත්‍යාංශය සාකච්ඡා ආරම්භ කර ඇත.

නාය යැම්වලින් මාර්ග පද්ධතියට ද බරපතළ හානි වී තිබිණි. සංවර්ධන ක්‍රියාවලියට නතු වූ දහඅට වංගුව මාර්ගයේ ස්‌ථාන කිහිපයක්‌ම කණ්‌ඩි කඩා වැටීමෙන් අවහිර විය. මහියංගනය මාර්ගය, නුවරඑළිය - බදුල්ල මාර්ගය හා වලපනේ හඟුරන්කෙත මාර්ගයට මෙසේ නාය යැමෙන් හානි විය.

මාතලේ දොරකුඹුර, තොටගමුව, ගලේවෙල, දඹුල්ල ඇතුළු ප්‍රදේශ ගණනාවක ගිලා බැසීම් සිදුවීම හේතුවෙන් ද මාතලේ දිස්‌ත්‍රික්‌කයේ පවුල් රැසක්‌ විපතට පත්විය.

කඳුකර ප්‍රදේශවල සිදු කරන අක්‍රමවත් ඉදිකිරීම් මෙසේ නාය යැම්, කණ්‌ඩි කඩා වැටීම්, පස්‌ කඩා වැටීම් ආදියට හේතුවී ඇති බැවින් ඉදිරියේදී සිදු කරන ඕනෑම ඉදිකිරීම් සඳහා ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශය අනිවාර්ය කර තිබේ.

නිවාස හානි

ගත වූ දෙසතිය ඇතුළත ජල ගැලීම් හා නාය යැම් හේතුවෙන් විනාශයට පත් නිවාස සංඛ්‍යාව 31098 කි. මෙය තවදුරටත් වැඩි විය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය පවසයි. මේ අතරින් නිවාස 5451 ක්‌ මුළුමනින්ම විනාශ වූ අතර ඇතැම් නිවාස තිබූ තැනක අත්තිවාරම පවා මේ වන විට සොයාගත නොහැකි තත්ත්වයට පස්‌ කණ්‌ඩි සමග ඒවා ප්‍රපාතයට ගසාගෙන ගොස්‌ තිබේ. තවත් නිවාස 25647 ක්‌ බරපතළ ලෙස හානියට පත්ව තිබේ.

මුළුමනින්ම හානියට පත් නිවසක්‌ වෙනුවෙන් මෙතෙක්‌ රජය ගෙවූ රුපියල් 50,000 ක වන්දි මුදල වෙනුවට එය රුපියල් ලක්‍ෂය දක්‌වා ඉහළ දැමීමට රජය තීරණය කළ බව ආපදා කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර මහතා "දිවයින"ට පැවැසීය. එසේම අර්ධ හානි වූ නිවාස සඳහා එක්‌ නිවසකට උපරිමය රුපියල් 50,000 ක්‌ දක්‌වා ගෙවීමට ද රජය තීරණය කර ඇත.

මේ වන විටත් හානියට පත් නිවාස හා දේපළ පිළිබඳව ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් නිරීක්‍ෂණය කිරීම් ආරම්භ කර තිබේ. අදාළ තක්‌සේරු කිරීම්වලින් පසුව මුදල් ගෙවීමට නියමිත බව ඇමැතිවරයා කීවේය.

වගා හානි

අනුරාධපුරය, පොළොන්නරුව, කු=රුණෑගල, අම්පාර, ත්‍රිකුණාමලය, මඩකලපුව ඇතුළු දිස්‌ත්‍රික්‌ක 10 ක කුඹුරු අක්‌කර 172850 ක්‌ ජල ගැල්මෙන් විනාශයට පත් විය. එයින් වැඩිම හානිස සිදු වූයේ මඩකලපුවටය. කුඹුරු අක්‌කර 43000 ක්‌ මඩකලපුවේ පමණක්‌ විනාශයට පත්ව තිබේ. මේ හේතුවෙන් සිදු වූ පාඩුව රුපියල් කෝටි 40 ඉක්‌මවා ඇතැයි ගොවිජන සේවා ඇමැති එස්‌. එම්. චන්ද්‍රසේන මහතා පැවැසීය.

විනාශ වූ ගොවි ජීවිත යළි නගා සිටුවීම උදෙසා බිත්තර වී සහ පොහොර නොමිලේ ලබා දීමට රජය තීරණය කළ බවත්, ප්‍රදේශයේ ගොවිජන සේවා නිලධාරීන් මගින් ඒවා ලබා ගත හැකි බවත් ඇමැතිවරයා කීවේය.

වැව් හා ජලාශ

මේ අතර කෘෂිකර්මාන්තයට සෘජුවම දායකත්වය සැපයූ වැව් අමුණු 323 ක්‌ විනාශයට පත්වූ අතර එයින් වූ පාඩුව රුපියල් මිලියන 300 ක්‌ ඉක්‌මවා ඇත.

අනුරාධපුරයේ පමණක්‌ වැව් 33 කට බරපතළ හානි සිදුවූ අතර අම්පාර, ත්‍රිකුණාමලය, පුත්තලම, හම්බන්තොට, මඩකලපලුව, කුරුණෑගල, මන්නාරම දිස්‌ත්‍රික්‌කවල මහ වැව් හා කුඩා වැව් රැසකට හානි සිදු විය.

මේ අතර පරාක්‍රම සමුද්‍රයේ බැම්මේ ගිලා බැසීමක්‌ ද සිදු විය. වාරිමාර්ග හා මහවැලියට අයත් ජලාශවලින් 90% ක්‌ ගත වූ දෙසතියේ අධික වර්ෂවෙන් පිරී ඉතිරී යන්නට වූ අතර මේ හේතුවෙන් ජලාශ දෙපස පදිංචි පවුල් රැසක්‌ ජල ගැල්මේ ගොදුරු බවට පත් වූහ.

සහන සේවා

ගම්මාන රැසක්‌ ජල ගැල්මෙන් පීඩාවට පත්වූ අතර ඇතැම් ගම්මාන නිවාස හා ජනතාව මහා ජල කඳට මැදි වූහ. නාවික හමුදාව ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය ඇතුළු නිලධාරීන් බෝට්‌ටු, හෙලිකොප්ටර් ආදිය යොදමින් කොටු වූ පුද්ගලයන් බේරා ගැනීමේ මෙහෙයුම් දියත් කළහ.

මෙවර සාමන්‍ය පෙළ විභාගයට පෙනී සිටි දරුවන් රැසක්‌ ජල ගැල්මෙන් විපතට පත් වූ අතර ඔවුන්ට විභාග ශාලාවට යැමටත්, යළි පැමිණීමට මෙන්ම ප්‍රශ්න පත්‍ර සැපයීමට සහන නිලධාරීන් මහත් පරිශ්‍රමයක්‌ දැරූහ.

අවතැන් පවුල් දස දහස්‌ ගණනක්‌ කඳවුරුවල රැඳවූ අතර විපතට පත් ලක්‍ෂ හතරකට ආසන්න ජනතාවට පිසූ ආහාර, සෞඛ්‍ය පහසුකම් සැලසීම ද දුෂ්කරතා මධ්‍යයේ සිදු කෙරිණි. එහිදී අතපසු වීම්, නිලධාරීන් සිතා මතා සිය වගකීම් පැහැර හැරීම් මෙන්ම, සහනාධාර මංකොල්ලකෑම් පවා සිදු විය.

විසඳුම්

කාලගුණික හා දේශගුණික විපර්යාස හේතුවෙන් ලොව පුරා ස්‌වභාවික විපත් ඉහළ යමින් තිබේ. ශ්‍රී ලංකාවට ද එම තත්ත්වය පොදුය. එබැවින් අපට ඉන් මිදීමට මගක්‌ නැත. මේ අවස්‌ථාවේ කළයුතු වන්නේ ආපදා සමග ජීවත් වීමේ ක්‍රම අනුගමනය කිරීමය. කඳුකර ප්‍රදේශ නාය යන බැවින් ඉන් ඉවත් වී සමතලා ප්‍රදේශවලට පැමිණිය හොත් ඒවා යම් අවස්‌ථාවක ජල ගැල්මකට ගොදුරුවිය හැකිය. එබැවින් ඒ ඒ ප්‍රදේශවල භූ විෂමතා ලක්‍ෂණ හඳුනා ගනිමින්, සිදුවිය හැකි ආපදා පිළිබඳ අවබෝධයන් සහිතව ඊට සරිලන පරිදි හා ආරක්‍ෂාකාරීව ඉදිකිරීම් ඇතුළු සංවර්ධන කාර්යයන් සිදු කිරීමය.

තුෂාරී කළුබෝවිල

ඡායාරූප(-

නිමල් කණහැරආරච්චි
  Source : http://www.divaina.com/2013/01/08/forign05.html

No comments:

Post a Comment