.

.
Cause Of Lament Due To The Unpreparedness

Currency Rate

Thursday, May 9, 2013


ප්‍රමිතියකින් තොර රෙදි සෝදන කුඩක්‌ නිසා
ජන ජීවිත අනතුරේ
වැඩියෙන් ම සිදුවීම් වාර්තා වන්නේ දකුණු පළාතෙන්

කුඩා පරිමාණ ව්‍යාපාරික ආයතනයක්‌ විසින් නිපදවනු ලබන රෙදි සෝදන කුඩු වර්ගයක්‌ ආහාර මාර්ගය ඔස්‌සේ ශරීරගත වීමෙන් පාරිභෝගිකයන් ගේ වැදගත් ශරීර ඉන්ද්‍රියයන් අකර්මණය වීමේ අවදානමක්‌ මතු ව ඇතැයි කොළඹ ජාතික රෝහලේ ධූලකවේදය හා විෂ තොරතුරු මධ්‍යස්‌ථානය අනතුරු හඟවයි.

පැහැයන් දෙකකින් යුතු පැකට්‌ටු දෙකක අඩංගු කුඩු මිශ්‍ර කර පිළියෙල කරගත යුතු වට්‌ටෝරුවක්‌ ලෙස අලෙවි කෙරෙන මේ නිෂ්පාදනය අධි මාත්‍රාවකින් ආහාර මාර්ගයට ඇතුළු වුව හොත් රෝහලකට ගෙන යැමට පෙර ම කෙනකු මිය යා හැකි බව විෂ තොරතුරු මධ්‍යස්‌ථානයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මහතා විදුසරට පැවසී ය.

මේ කුඩු වර්ගය ශරීරගත වූ රෝගීන් වෙතින් ආහාර මාර්ගය පිළිස්‌සී යැම, වකුගඩු අක්‍රිය වීම, ලේ වමනය, සිරුර තුළ ඔක්‌සිජන් පරිවහනය අඩාළ වීම වැනි තත්ත්වයන් ගණනාවක්‌ පෙන්නුම් කෙරෙයි. අවසානයේ ඉන්ද්‍රියයන් ගණනාවක්‌ අකර්මණ්‍ය වීමෙන් මරණය ද අත් කර දිය හැකි ය.

විෂ තොරතුරු මධ්‍යස්‌ථානයෙහි සටහන් ව ඇති සංඛ්‍යාලේඛනවලට අනුව මේ හා සම්බන්ධ සිදුවීම් වැඩිපුර ම වාර්තා වන්නේ දකුණු පළාතෙනි. මුලින් ම මේ හා සම්බන්ධ සිදුවීමක්‌ කරාපිටිය රෝහලෙන් වාර්තා වන්නේ 2006 වසරේ දී ය. එම වසරේ නොවැම්බරයේ සිට 2007 වසරේ සැප්තැම්බර් අතර කාලය තුළ මේ රෙදි සෝදන කුඩු වර්ගය ශරීරගත වීමෙන් 25 දෙනකු එම රෝහලට ඇතුළත් කර ඇත. ගාල්ල, හිනිදුම, අකුරැස්‌ස වැනි ප්‍රදේශවලින් සිදුවීම් වාර්තා වී තිබේ.

මෑත කාලයේ දී ද මේ කුඩු වර්ගය විෂ වීමෙන් රෝගාතුර වූ පුද්ගලයන් දකුණේ රෝහල්වලට ඇතුළත් ව ඇති බවත් ඔවුන් සම්බන්ධ වාර්තා අදාළ රෝහල් බලධාරීන් වෙතින් විෂ තොරතුරු මධ්‍යස්‌ථානය වෙත ලැබීමට නියමිත ව ඇති බවත් වෛද්‍ය වරුණ ගුණතිලක මහතා පැවසී ය.

මේ අතර මෙකී නිෂ්පාදනය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක්‌ සිදු කරන ලෙස පාරිභෝගික අධිකාරියට ද නිල දැනුම් දීමක්‌ කර ඇතැයි ගුණතිලක මහතා පවසා සිටියේ ය. විෂ තොරතුරු මධ්‍යස්‌ථානය විසින් සිදු කරන ලද මූලික විමර්ශනවලින් පෙනී ගොස්‌ ඇත්තේ මෙකී නිෂ්පාදනයේ අසුරණයෙහි නිෂ්පාදන ආයතනයෙහි නම හා නගරය සටහන් ව ඇතත් ඔවුන් සම්බන්ධ කරගත හැකි අන් තොරතුරක්‌ සටහන් කර නොමැති බව ය.

මේ සම්බන්ධයෙන් ජනතාවට දිය යුතු පණිවිඩය වන්නේ මෙවැනි නිෂ්පාදන තොරතුරු සටහන් නො කළ, ප්‍රමිතියකින් තොර ද්‍රව්‍ය මිල දී ගැනීමෙන් වැළකිය යුතු බව යෑයි ද ඒ මහතා අවධාරණය කර සිටියේ ය.

Source : http://www.vidusara.com/2013/05/08/news2.html