අශ්වයා ගියාට පසු ඉස්තාලය වහමුද?
මෙම මහා විනාශය සිදුවන වකවානුවේ ක්වින්ස්ලන්තයේ අගමැතිවරිය වූයේ ඇනා බ්ලිග් (Anna Bligh) මහත්මියයි. ප්‍රචණ්ඩ කුණාටුවත් සමග ගංවතුරක් පැමිණෙන්නට සූදානමක් තිබෙන බවට ක්වින්ස්ලන්තයේ කාලගුණ විද්‍යා අංශය උපුටා දක්වමින් ප්‍රාන්තයේ රූපවාහිනී සහ ගුවන් විදුලි සේවා සිය පළමු ප්‍රවෘත්තිය විකාශය කළ මොහොතේ සිට අපට දකින්නට ලැබුණේ වෙනදා මෙන් සන්සුන් ගමනින් පැමිණ සිය රාජකාරි අරඹන අගමැතිනී ඇනා බ්ලිග් නොවේ. සම්පූර්ණයෙන් වෙනස් යකඩ ගැහැනියකි.
වහාම ඇය විද්‍යුත් හා මුද්‍රිත ජනමාධ්‍ය හමුවේ පෙනී සිටියාය. ඇගේ දෙපසින් ප්‍රාන්තයේ වගකිවයුතු සියලුම ප්‍රධාන නිලධාරීන් සමග හමුදා පොලිස් ප්‍රධානීන් ද සිට ගත්හ. දැවැන්ත කුණාටුව සමග ගලා යන බව කියන මහා ගංවතුර පාලනය කළ හැකි හා අවම කළ හැකි අංශ සියල්‍ලේම නියෝජිතයෝ එම පිරිස අතර වූහ.
චණ්ඩ කුණාටුව පැමිණෙන දිනය, වේලාව, සියයට අනූ නවයක් නිවැරදිව කාලගුණ විද්‍යා අංශ නිවේදනය කරමින් සිටී. ජනතාව තමන්ගේ වටිනා ගෘහ උපකරණ (මේවාට කුඩා අහස් යානා, සුඛෝපභෝගී සංචාරක බෝට්ටු, ඇදගෙන යා හැකි සුඛෝපභෝගී කුඩා නිවාස, මෝටර් රථ ආදිය අයත්ය) පිළිබඳ කිසිම තැකීමක් නොකරති. මන්ද ඒවා සියල්ලක්ම රක්ෂණය කර තිබූ බැවින්ය. ඒ වගේම ක්වින්ස්ලන්තය ඉතා ප්‍රසිද්ධ රසවත් නැවුම් පළතුරුවලටය. පළතුරු වතු අක්කර දහස් ගණනක් විනාශ කර දමමින් චණ්ඩ කුණාටුව සහ ගංවතුර ගලා යන්නට සූදානම්ය. ඒ කිසිවක් ගැන නොව තම තමන්ගේ ජීවිත බේරා ගන්නා ලෙස කියමින් අගමැතිනී ඇනා බ්ලිග් මහත්මියත්, ඇගේ ආණ්ඩුවේ ප්‍රධාන නිලධාරීනුත් ජනතාව වෙත ගමන් කරති. මේ දර්ශන සජීවී ලෙස රූපවාහිනී හරහා දකින විට මගේ සිතේ නැගුන විශ්මය මුසු ආශ්වාදය වචනවලට පෙරළිය නොහැකි තරම් මිහිරි විය.
ක්වින්ස්ලන්තයේ හිටපු අගමැතිනී ඇනා බ්ලිග් මහත්මිය සහ ඇයගේ පරිවාර නිලධාරීන් කුණාටුවට සහ ගංවතුරට පෙර එය ආරම්භ වූවාට පසු සහ ඉන් ඉක්බිති රටේ ජනතාව සමග හැසිරුන ආකාරය තවදුරටත් විස්තර කිරීම ඔබ වෙහෙසට පත් කරවන්නක් විය හැක. නමුත් මා සඳහන් කළ මෙම සත්‍ය අත්දැකීම ඔස්සේ ඔබට බොහෝ දේ කල්පනා විය හැක. මටද එසේමය. මෙවැනි පෙර වදනක් ලියා තබන්නට මා පෙළඹ වූයේද එවැනි සිතුවිලි සමුදායකි.
මේ වන විට අප රටේ ගම් නගර රාශියක් හරහා ස්වභාව ධර්මයේ විපත් සිදුවෙමින් පවතී. මීට කාලයකට පෙර ලෝකයේ මිනිස්සු ශ්‍රී ලංකාව හැඳින් වූයේ ස්වභාව ධර්මයේ ස්වභාවික විපත් ඉතා අඩු සුන්දර දිවයිනක් වශයෙනි. නමුත් 2012 වසර අවසන් වී නව වසරකට පිවිස සිටින අපට දෙසැම්බර් මාසයේ සිදු වූ විපත් තවමත් අමතක වී නැත. මන්ද මේ වනවිටත් ගංවතුරින්, පස් කඳු කඩා වැටීමෙන්, ගෙවල් දොරවල් අහිමි වූ සෑහෙන ප්‍රමාණයක ජනතාවක් රැඳවුම් කඳවුරුවල කටුක දුක් වළඳමින් පසුවන බැවින්ය.
ස්වභාවික විපත් ඕනෑම රටක සිදුවෙයි. නමුත් ශ්‍රී ලංකාවේ වර්තමානයේ සිදුවන ස්වභාවික යැයි කියන බොහෝ විපත්වලට හේතුවී ඇත්තේ නිසි අවස්ථාවේ ‘ටක්කෙට’ නිවැරදි තීන්දු, තීරණ නොගැනීම බව මට පෙනේ. අප රටට, ජනතාවට විපතක් සිදුවන්නට පෙර ඒ ගැන කෙරෙන විවිධ අනාවරණවලදී පෙරට පැමිණිය යුතු ‘ඇනා බ්ලිග්’ වැනි යකඩ ගැහැනුන් හෝ යකඩ පිරිමින් අප රටේ නැතිකම ජනතාවගේ අභාග්‍යයයි. අපේ රටේ සිදුවන මෙවැනි විපත්වලදී බොහෝ විට අසන්නට දකින්නට ලැබෙන්නේ ජනතාවට ආදරය කරන, ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කළයුතු යැයි සිතා වැඩ කරන දේශපාලනඥයන් නොවේ. මනාපය බලාගෙන කරවල පැකට් එකක්, පරිප්පු ග්‍රෑම් 250ක්, භූමිතෙල් බෝතල භාගයක් දී පත්තරවල සහ ටී.ටී. ආදියේ මුහුණ පෙන්වන්නට කෑදර දේශපාලනඥයන් වැඩි දෙනෙකි. මෙම අවස්ථාවේදී මා නගන උපහාසයට මේ රටේ සියලුම දේශපාලනඥයන් ඇතුළත් නොවන බව විශේෂයෙන් සඳහන් කරමි. මන්ද ‘ඇනා බ්ලිග්’ වගේ නැතත් මෙවැනි ආපදා අවස්ථාවලදී ජනතාව සමග මුසුවෙමින් ඔවුන්ව අවශ්‍ය සහනාධාර ලබාදෙන, ජනතාව සනසා වන්නට ඇප කැපවන දේශපාලනඥයන් පිරිසක් මේ රටේ සිටිනු දකින්නට ලැබිමයි. එය ජනතාවට ආශ්වාදයකි.
දඹුල්‍ලේ සහ මාතලේ තැනින් තැන ගිලා බැසීම්, ප්‍රධාන වැව් කීපයක වැව් තාවුලු ස්ථාන ගිලා බැසීම් හෝ ඉරිතැලීම්, කඳුකරයේ දැවැන්ත ගල්කුට්ටි පහළට කඩා වැටීම් අම්පාර ආශ්‍රිත මහ පොළව යටින් නැගෙන අද්භූත ගිගුරුම්, පළාත් රාශියකට ඇද වැටෙන රතු, කහ වැසි අහසේ අද්භූත එළි පසුගිය වසරේ අවසාන කාර්තුවේදී නොකඩවා අසන්නට ලැබුණු සිදුවීම්ය. මෙම සිදුවීම් අනතුරුවලට පෙරළී ජීවිත දේපළ රාශියක් ඊට ගොදුරු විය.
මෙම සිදුවීම් දෙස රටේ වගකිවයුතු බොහෝ දෙනා බලන්නේ ඇල්මැරුණු හැඟීමෙන් යැයි මට හැඟේ. හැම අවුරුද්දකම මේ කාලෙට වහිනවා. හෙණ වැදිලා මිනිස්සු මැරෙනවා. සුළං හමනවා. ගංගා පිටාර ගලනවා. දේපොළ වගා හානි සිදුවීම සාමාන්‍ය දෙයක්. ඔවුන් බොහෝ දෙනා දකින්නේ එබඳු මතයකි. එබඳු මතයක් වගකිවයුතු අංශ හරහා රටට යැවීමෙන් සිදුවන හානිය බොහෝ බරපතළය. ජාතික ආපදා අවස්ථාවලදී ඒ සම්බන්ධව වගකිව යුතු අංශ බොහෝ විට පළ කරන්නේ පරස්පර අදහස්ය. පිරිසක් පවතින සැබෑ තත්ත්වය වසන් කර බොහෝ සරලව ජාතික ආපදා පිළිබඳව ජනතාවට මාධ්‍ය ඔස්සේ කතා කරන අතර අනෙක් පාර්ශ්වය ඊට මුළුමනින්ම පටහැනි ලෙස ජනතාව අමතයි. අහිංසක මිනිසුන් අන්දුන්කුන්දුන් වී රූපවාහිනී චැනල එහාට, මෙහාට කරකවමින් ඇත්ත දැන ගන්න උත්සහ කරයි.
අම්පාරේ භූ ගර්භයෙන් නැගෙන අද්භූත හඬ පිළිබඳ මේ දක්වා කිසිදු වගකිවයුතු ප්‍රකාශයක් කාගෙන්වත් සිදුවී නැත. මෙම පළාත්වල ජීවත් වන ජනතාවගේ අත්දැකීම් අසන විට මහ
පොළව යට කුමක් දෝ සිදුවෙමින් පවතින බවක් කාට වුවත් සැක සිතේ. එබඳු සැකයක් මිථ්‍යාවක් වන්නට හෝ යථාර්ථයක් බවට පත් වන්නට වැඩි කල් ගත වන්නේ නැත. නමුත් ඒ සම්බන්ධයෙන් අදාළ අංශ පවසන්නේ කිසිදු අසාමාන්‍ය තත්ත්වයක් පොළව යට සිදුවන බවට වාර්තා නොවන බවයි. එහෙම නම් මේ අද්භූත ශබ්ද මොනවාද? කවුරුන් හෝ අම්පාරේ වනාන්තරවල ගල් බෝර දමා නිධන් හාරනවා වද්ද? ජනතාව තුළ ඇත්තේ එබඳු සැකයකි. ගිනි බෝල වැනි අද්භූත වස්තූන් පසුගියදා වැල්ලවායේ අහසේ දිස්විය. මීට පෙර එබඳු ගිනිබෝල අහසේ දකින්නට ලැබුණේ නැත. අද්භූත යානා වැනි දේවල් බණ්ඩාරවෙල, අනුරාධපුර වැනි පළාත්වලදී දකින්නට ලැබුණ බව පමණක් නොව ඒවායේ ඡායාරූප පවා විද්‍යුත් හා මුද්‍රිත ජනමාධ්‍යවල පළ විය. ඒ පිළිබඳ එකිනෙකා පවසන්නේ පරස්පර අදහස්ය. රතු වැස්සේ ක්ෂුද්‍ර ජීවී කොටස් සිටින බවත් උන් නොමැරී වැඩෙන බවත් ශ්‍රී ලංකාවේ පමණක් නොව එංගලන්තයේදී පවා සිදුකළ රසායනාගාර පර්යේෂණවලින් තහවුරු වී තිබේ. රටේ මෙවැනි අද්භූත සිදුවීම් වන විට මේවා හැම අවුරුද්දකම සිද්ධ වෙන දේවල් යනුවෙන් කල්පනා කළ හැකිදැයි කල්පනා කිරීම වටී.
අප බොහෝ විට යමක් ආරම්භ කරන්නට සැලසුම් හදන්නේ ‘පෙරහැර ගියාට පසුව’ය. එවිට සිදුවිය යුතු සියල්ල සිදුවී අවසන්ය. ක්ෂණික විමර්ශන, පරීක්ෂණ, සිද්ධියේ සැබෑ තත්ත්වය අනාවරණය නොවන විට සිදුවන්නේ ප්‍රාදේශීය මට්ටමේ දේශපාලනඥයන් විසින් ඊට විවිධ අර්ථකථන ලබාදීමය. එම අර්ථකථන ඔස්සේ පුද්ගලික දේශපාලන උපාය මාර්ග ක්‍රියාත්මක වීමය. අද අප රටේ දකින්නට ලැබෙන මෙය මුළුමනින්ම වැරදි සහගත අවධිමත් තත්ත්වයකි. ‘ලූලා නැති වළට කනයා පණ්ඩිතයා’ වන්නේ රටේ භූමිය ජනතා සහ දේපළ සම්බන්ධ විධිමත් ඒකාබද්ධ ආරක්ෂක වැඩපිළිවෙළක් නොමැතිකමින්ය.
රටේ දැවැන්ත වැව්, ඇළ, වේලි ගොඩනගා තිබේ. මේවායේ ජල ටොන් ලක්ෂ ගණන් ගබඩා වී ඇත. මේවායේ අප කාටත් හොරා සිදුවන ස්වභාවික හෝ අස්වභාවික වෙනස්වීම් සම්බන්ධයෙන් නිරන්තරයෙන් අවදියෙන් සිටිය යුතු වර්තමානයක් අද උදා වී තිබේ. දැවැන්ත සංවර්ධනයක් කඳුරට ආශ්‍රිතව ක්‍රියාත්මක වෙයි. පහළින් දැවැන්ත සංවර්ධන ක්‍රියා සිදුවන විට කඳු මුදුන්වලට එහි තිබෙන පර්වත හා පස් කඳුවලට බලපෑමක් සිදුවෙමින් පවතීද යන්න විමර්ශනයක් සිදුවේදැයි සැක සහිතය. මහ වැස්සට පස් කඳු සහ කුඩා ගල් පෙරළී ඒ අනාගත භයානක අනතුරක පෙර නිමිත්තක්දැයි සොයා බැලීම සිදුවන්නේ කොතැනින්දැයි මම නොදනිමි.
අනුර හොරේෂස්
No comments:
Post a Comment